කම්කරු දිනය -2025-05-01

පක්ෂ ලේකම්තුමාගේ කතාව

1886 වසරේ දී, සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකු වූ රොබට් මහතා “පැය අටක ශ්‍රමය, පැය අටක විනෝදාස්වාදය, පැය අටක විවේකය” යන සටන් පාඨය සමග සේවා මුරයක් ඉල්ලා සිටීමේ අභිමතාර්ථය සකස් කළේ ය.

ඒම අදහසක් මත පදනම් ව දිනකට පැය අටක සේවා මුරයක් ඉල්ලා ඇමෙරිකාවේ වෘත්තීය සමිති දැවැන්ත වැඩ වර්ජන මාලාවක් දියත් කළේ ය. එකල,වයස අවුරුදු 14 සිට කම්කරුවන් ලෙස ද  වැඩ කරන වේලා වන් හෝ විවේක දින නියම කිරීමකින් තොරව කර්මාන්ත ශාලාවල අධික වෙහෙස වී වැඩ කිරීම සාමාන්‍ය තත්ත්වයක් විය.

1886 මැයි 4 විරෝධතාව මැයි 1 වන දා චිකාගෝ පැවැත්වුණු අතර, ඊට කම්කරුවන් 40,000ක් පමණ එක්ව සිටිය හ. චිකාගෝ නගරය ඇමෙරිකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ හදවත වූ අතර, වෘත්තීය සමිති සංවිධානවල මධ්‍යස්ථානය ලෙස ද පැවතිණි.

මේ පෙළපාලිය මැයි 2 හා 3 යන දෙදින තුළත් පැවැත් විණ. චිකාගේ නගරයේ මැක්කොමික් කර්මාන්ත ශාලාවේ වැඩවර්ජනය කඩා කප්පල් කර දැමීමට හාම්පුතුන් දැරූ උත්සහයේදී වැඩ වර්ජකයින් හා එය මර්දනය කිරීමට පැමිණි ආරක්ෂක අංශ අතර ගැටුම් ඇති විය. මැයි 3 වන දින මේ සිදුවීම් උග්‍රවීම හේතුකොට ගෙන පොලීසිය ඊට වෙඩි තැබීම නිසා හය දෙනෙකු මියගොස් පනස් දෙනෙකු තුවාල ලැබූහ. පෙළපාලියේ ගෙන ගිය සුදුපාට බැනර් කොඩි කම්කරුවන් හෙළුෑ ලෙයින් රතු පැහැගැන්වී තිබිණි. මෙම සිදුවීමෙන් පසු කම්කරුවන්ගේ පාට ලෙස රතුපාට තෝරාගනු ලැබිණි. මේ වෙඩි තැබීමට විරෝධය පාමින් මැයි 4 වන දින යෝධ රැළියක් චිකාගෝ නගරයේ මධ්‍යම චතුරශ්‍රයේ පවත්වනු ලැබීය. මේ රැලිය අමතා චිකාගෝ නගරයේ වැඩ වර්ජිත කම්කරු නායකයෝ රැසක් ම කථා කළහ.

හාම්පුතුන්ට විරෝධය පළ කිරීමට පැවති මේ අරගලය පසුව පොලිසියට විරුද්ධත්වය පළ කිරීමට පැවති අරගලයක ස්වරූපයක් ගත්තේ ය. ආණ්ඩුව තවදුරටත් හිංසාකාරී පිළිවෙතකට පිවිසීමට ඉඩ ඇති හෙයින් නො සැලී සාමකාමී ව සංවිධානාත්මක අරගලය ඉදිරියට ගෙන යෑමට නායකයෝ වැඩ වර්ජකයින්ට උපදෙස් දුන්හ.

අනතුරුව රැලිය අවසන්වීමට මදකට පෙර පොලිසිය ඒ ප්‍රදේශයට පිවිසියේය. තවමත් හඳුනා ගත නොහැකි ප්‍රහාරකයෙකු විසින් එහි දී පොලිසිය වෙත බෝම්බයක් විසි කරනු ලැබූ අතර, එම බෝම්බය පිපිරීම සහ පසුව ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් පොලිස් භටයින් 7 දෙනෙකු මිය ගිය අතර සෙබළුන් 67 දෙනෙක් තුවාල ලැබූහ. 30කට අධික පිරිසක් තුවාල ලැබූහ. ඉන් පසු පොලිසියේ මර්දනකාරී වැඩපිළිවෙළ මුළු ඇමෙරිකාව පුරාම ක්‍රියාත්මක කෙරිණි. වැඩ වර්ජකයින් දුටු තැන පහර දෙන්නටත් වෘත්තීය සමිති කාර්යාල කඩා බිඳ දමන්නටත් පටන් ගත්තේ ය. එතැන් පටන් සටන ආණ්ඩුව සහ කම්කරුවන් අතර සටනක් බවට පරිවර්තනය විය. බෝම්බ ගැසූ සිදුවීම සම්බන්ධයෙන් චිකාගෝ නගරයේ කම්කරු නායකයන් අට දෙනකු අධිකරණය හමුවට මිනීමැරුම් චෝදනා මත ඉදිරිපත් කෙරිණි. ඉන් හත් දෙනකු සිද්ධිය වූ මොහොතේ නො සිටියත් ඔවුන්ට විරුද්ධව විරෝධතා ගොනු කෙරිණි.

අධිකරණයට ඉදිරිපත් වු විත්තිකරුවන් දැඩි ආත්ම ගෞරවයකින් හා එඩිතර බවකින් යුක්තව තමන් නිවැරදිකරුවන් බව ප්‍රකාශ කරමින් ආණ්ඩුවටත් පොලිසියටත් විරුද්ධව තියුණු ලෙස චෝදනා ඉදිරිපත් කළෝ ය. මෙහිදී ඔස්කාර් තිබේම යන වෘත්තීය සමිති නායකයාට වසර පහළොවක සිරදඬුවමක් හා අනෙකුත් සියලු කම්කරු නායකයන් එල්ලා මරා දැමීමට නියම කෙරුණි. මොවුන් ව එල්ලා මරණ දිනය ළං වෙත්ම අධිකරණ තීන්දුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් මුළු රට පුරාම දියත් කරනු ලැබීය. ඊට විරෝධය පළ කොට විදේශ රටවලින්ද පෙත්සම් ගලා එන්නට විය. මේ පිරිසට ලබාදී තිබෙන දඬුවම ලිහිල් කරන ලෙසද ඉල්ලා සමාජයේ විවිධ ක්‍ෂේත්‍රවලින් බලපෑම් එල්ල වන්නට විය. මේ බලපෑම් නිසාම සැමුවෙල් පීල්ඩන් සහ ඉයුජින් ෂවාබ්ට පමුණුවා තිබූ මරණීය දණ්ඩනය වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලිහිල් විය. මොවුන් එල්ලා මරා දැමීමට නියමිතව තිබූ 1887 නොවැම්බර් 11 වන දිනට පෙර දිනයේ 10 වන දින ලුවිස් ලින්ග් සියදිවි නසා ගත්තේය. ඒ අනුව 11 වන දින ඇල්බට් පර්සන්ස්, ඕගස්ට් ස්පයිස්, ජෝර්ජ් ඒංගල් සහ ඇඩෝල්ප් පිෂර් යන කම්කරු නායකයින් හතර දෙනා එල්ලා මරා දමන ලදී. ඔවුන් කම්කරු පන්ති විමුක්තියේ වීර භටයින් ලෙස මරණයට එඩිතර ව මුහුණ දුන්හ.

එල්ලා මරා දැමීමට මොහොතකට පෙර ඕගස්ට් ස්පයිස් අවසාන වශයෙන් මෙසේ ප්‍රකාශ කළේ ය. “අපේ වචනවලට වඩා අපේ නිශ්ශබ්දතාව බලගතු වන කාලයක් වැඩි කල් නො ගොස් උදා වෙනවා.”

1893 දී සිර දඬුවම් ලබමින් සිටි සැමුවෙල්, ඉයුජින් හා ඔස්කාර් යන තිදෙනා නිදහස් කරන ලදී. මේ වන විට ඉලිනොයිස් ප්‍රාන්තයේ නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජෝන් පී. ඇල්ටිහෙල්සි නම් අයෙක් පත් වූයේය. පසුව ඔහු මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේය. ඒ අනුව යථෝක්ත නඩු විභාගය පක්ෂපාතීව පවත්වා තිබෙන බවත් එල්ලා මරා දමනු ලැබූ පුද්ගලයන් ඇතුළු අට දෙනාටම විරුද්ධව චෝදනා එල්ලවී නොතිබුණු බවත් පක්‍ෂපාතී ජූරි සභාවක් තෝරා ගෙන තිබුණු බවත් හෙළි විය.

1886 මැයි අරගල ඛේදවාචකයකින් අවසන් වූවත් ඇමෙරිකානු කම්කරු පන්තියේ සටන් රැල්ල නොනැවතී පැවැතිණ. සමස්තයක් වශයෙන් ගත් කල 1886 මුළු වැඩ වර්ජන ව්‍යාපාරය ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ ජය ස්ථම්භයක් වශයෙන් සලකනු ලබයි. 1887 සිට 2 වන කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තීරණ අනුව ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය ලෙස මැයි මස 1 වන දිනය පවත්වයි.

මැයි දිනයේ දී එම සිදුවීම් සැමරීමට 1889 වසරේ දී, රටවල් 20ක සමාජවාදී හා කම්කරු පක්ෂ සහ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ රැස්වීමක් වූ, දෙවන ජාත්‍යන්තරයේ පළමු සම්මේලනයේ තීරණය කෙරිණි

වාමාංශික පක්ෂ උත්තේජනය

චිකාගොහි පැවති ගැටුම් ඊළඟ වසර කිහිපය තුළ බොහෝ වාමාංශික පක්ෂ සඳහා උත්තේජනයක් විය.දක්ෂිණ යුරෝපයේ, මැයි දිනය මුලින් ම සනිටුහන් කළේ, එවකට ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය ලෙස සැලකුණු ස්ලෝවේනියාවේ සහ ක්‍රොඒෂියාවේ පුරවැසියන් ය.

සර්බියාව තුළ මැයි දින රැලියක්

දුෂ්කර සේවා තත්ත්වයන්, අඩු වැටුප් සහ දීර්ඝ සේවා මුර, 1893 වසරේදී සර්බියාව තුළ මැයි දින රැලියක් සංවිධානය කිරීමට හේතු සැපයීය.පළමු ලෝක සංග්‍රාමයෙන් පසු, ඇති වූ වේගවත් කාර්මික සංවර්ධනය සහ රුසියාවේ කොමියුනිස්ට් විප්ලවයේ බලපෑම හේතුවෙන්, කම්කරුවෝ ලොව පුරා මූලික අයිතිවාසිකම් සඳහා අරගල කළහ.

ජර්මනියේ නිල නිවාඩු දිනයක්

1933 වසරේ දී නාසි පක්ෂය බලයට පත්වීමෙන් පසු, කම්කරු දිනය ජර්මනියේ නිල නිවාඩු දිනයක් බවට පත් විය. උත්ප්‍රාසාත්මක ලෙස, එය ජර්මානු කම්කරු ව්‍යාපාරය සැබවින්ම ම විනාශ කරමින් (දෙවන ලෝක යුද්ධයෙන් පසු වෘත්තීය සමිති නැවත ගොඩනගන ලද නමුත්) මැයි දින නිවාඩුව නම් කිරීමට පසු දින නිදහස් වෘත්තීය සමිති අහෝසි කර දැමීය.

පෙරදිග සහ අපරදිග

දෙවන ලෝක යුද්ධයෙහි දී මිත්‍ර පාර්ශවයක් ජයග්‍රහණයෙන් පසු, දේශපාලන හා ආර්ථික බෙදීම් වඩාත් කැපී පෙනෙන ලෙස ගෝලීය සිතියම වෙනස් විය.දශක ගණනාවක් තිස්සේ කියුබාව, එවකට සෝවියට් සංගමය සහ චීනය වැනි සමාජවාදී රටවල වඩාත් වැදගත් නිවාඩු දිනයක් ලෙස කම්කරු දිනය සමරනු ලැබීය.එය සාමාන්‍යයෙන් විශාල පෙළපාළි පැවැත්වීමෙන් සලකුණු කරන ලද අතර, එම පෙළපාළි මොස්කව්හි රතු චතුරශ්‍රයේ පැවති අතර, එයට ඉහළ පක්ෂ සහ රාජ්‍ය නිලධාරීනුත් සහභාගී වූහ.

එය සෝවියට් ආරක්ෂක හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමක් ලෙස ද සැලකිනි. කොමියුනිස්ට් නායකයින් විශ්වාස කළේ, අලුතින් ස්ථාපනය කරන ලද නිවාඩුව සහ සැමරුම, ධනවාදයට එරෙහි අරගලයේ දී එක්සත් වීමට යුරෝපයේ සහ ඇමෙරිකාවේ කම්කරු පන්තියට උත්තේජනයක් වනු ඇති බවට ය.

1945 වසරේ දී මැයි දිනය නිල වශයෙන් රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුගොස්ලාවියාවේ සමාජවාදී ෆෙඩරල් ජනරජයේ කතාව ද ඊට සමාන වන අතර, එහි දී පෙරහැර සහ හමුදා පෙළපාළි සමග ප්‍රබල රාජ්‍ය ප්‍රචාරණයක් ද සමගින් සමරනු ලැබුණි. ලෝකයේ සෙසු ස්ථානවල ද, වෘත්තීය සමිති සහ කම්කරුවෝ වඩා හොඳ කම්කරු අයිතිවාසිකම් ඉල්ලා මැයි දිනයේ දී පෙළපාළි සංවිධානය කරති. විරැකියාව සහ වැඩ කරන ජනතාවගේ දරිද්‍රතාවයේ පුරෝකථනය කරන ලද ඉහළ යාම හමුවේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් තවදුරටත් වැදගත් වේ. විරැකියාව අඩු වීමක් සහ ධනාත්මක රැකියා වර්ධනයක් පැවතිය දීත්, වැටුප් ඉහළ දැමීම් පසුගිය වසරේ උද්ධමනයට සාපේක්ෂව පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්, G20 රටවල් බහුතරයක සැබවින්ම ම සැලකුව හොත් වැටුප් පහත වැටුණු බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සිය 2024 පුරෝකථන වාර්තාවේ පවසයි.

පසුගිය වසරේ, අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන කම්කරුවන්ගේ සංඛ්‍යාව – ක්‍රය ශක්ති සාමාන්‍යය කොන්දේසි අනුව පුද්ගලයෙකුට දිනකට ඩොලර් 2.15ට වඩා අඩු ආදායමක් ලබන පිරිස – ගෝලීය වශයෙන් මිලියනයකින් පමණ වර්ධනය වී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.  ඊට මධ්‍යස්ථ දරිද්‍රතාවයේ පසු වන (ඒකල කොන්දේසි අනුව දිනකට ඩොලර් 3.65ට වඩා අඩු ආදායමක් ලබන්නන්) කම්කරුවන් සංඛ්‍යාව එකතු කළ විට එම අගය මිලියන 8.4කින් පමණ ඉහළ යයි.

ලංකා ඉතිහාසයේ

ලංකා ඉතිහාසයේ පළමු සංවිධිත කම්කරු අරගලය ලෙස හැඳින්වෙන්නේ එච්. ඩබ්ලිව්. කේව් සහ සමාගමේ මුද්‍රණ කම්කරුවන් 1893 දී කළ වැඩ වර්ජනය යි. පුවත්පත් කාර්යාලවල සහ මුද්‍රණ සමාගම්වල සේවයෙහි යෙදුණු මුද්‍රණ කම්කරුවෝ හා පොත් බඳින්නෝ දහසකට වඩා මෙම සටනට එක් වී ඇත.

එම අසාර්ථක වර්ජනයෙන් පසුව ‘මුද්‍රණ කම්කරුවන්ගේ සංගමය’ නමින් මෙරට ප්‍රථම වෘත්තිය සමිතිය පිහිට වූ අතර ඉන් ආරම්භ වූ මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය දීර්ඝ ඉතිහාසයකට උරුම කම් කියයි.

● ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දිනය

ශ්‍රී ලංකාවේ මැයි දිනය පැවැත්වීම ආරම්භ වනුයේ 1933 දීය. එවකට ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කළ ඊ. ඒ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක් සිට ගාලුමුවදොරපිටිය  මේ මැයි රැලිය පවත්වනු ලැබීය. මෙහි තේමාව වූයේ “ රාජ්‍ය පාක්ෂික වෙමු” යන්නයි. මේ අවස්ථාවට යටත් විජිත ආණ්ඩුවේ නිලධාරීන්ට හා ඔවුන්ගේ බිරියන්ට ආරාධනා කර තිබිණි.

1934 දී ශ්‍රී ලංකාවේ දෙවන මැයි දිනය පැවැත්වූයේ මාක්ස්වාදී සංගමයයි. මෙය ප්‍රථම වරට වමට සම්බන්ධ සමාජවාදී මතවාදය පළ කරන මැයි දින සැමරීම වේ. දොස්තර සරවනමුත්තුගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක්හිදී පැවැත්විණි. මෙහි තේමාව වූයේ “ජාතික නිදහස හා සමාන වැටුප්” යන්නයි. මෙම මැයි රැලියේ ප්‍රධාන කථිකයා වූයේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහයි. ඊටත් වඩා ප්‍රබල මැයි දිනයක් 1935 දී පැවැත්විණි. මෙය ලංකා සම සමාජ පිහිටුවීම ආසන්නයේ දී පැවැත්වුණු අතර වැල්ලවත්ත රෙදි මෝලේ සේවක ගැටලුවක් මුල්කරගෙන පසු කලෙක ලංකා සම සමාජ පක්‍ෂයේ නායකයකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිතියක් ද පිහිටුවීම මේ වකවානුවේ සිදුවිය. එතැන් පටන් දිගටම ලංකා සම සමාජ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් යන වමේ දේශපාලන පක්‍ෂවල මූලිකත්වයෙන් මැයි රැලි හා පෙළපාලි පැවැත්විණි. කම්කරුවන්ට එරෙහිව අසාධාරණ ලෙස සම්මත කර තිබූ නීති රීති, අතිකාල දීමනා, පැය අටේ වැඩ දිනය ඉල්ලීම යන අයිතීන් දිනා ගැනීමේ සටන් පැවැති අතර 1946 හා 1947 වැඩ වර්ජන, 1953 හර්තාලය යන සිදුවීම් සමග කම්කරු සටන් පැවතෙද්දී 1956 සිදුවූ පෙරළියත් සමග කම්කරු පන්තියට ඇහුම්කන් දෙන නායකයකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අගමැති තනතුරට පත්විය. ඉන්පසුව පැය අටේ සේවය නීතිගත වීම, විශ්‍රාම වැටුප් අයිතිය හිමි වීම, පුද්ගලික අංශයේ සේවකයන්ට අර්ථසාධක අරමුදල් අයිතිය ලබා ගැනීම මේ සඳහා පීටර් කෙනමන් මහතා හා එම්. ජී. මෙන්ඩිස් මහතා සිදු කළ මෙහෙය අගය කළ යුතුයි.

ටී. බී. ඉලංගරත්න මහතා

එමෙන්ම ටී. බී. ඉලංගරත්න මහතා කම්කරු ඇමති ලෙස අර්ථ සාධක අරමුදල් අයිතිය පෞද්ගලික අංශයට ලබා දීමට ගත් තීරණය වැදගත් වේ.  කම්කරු දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම  අදහස මෙතුමාට හිමි විය යුතුය. මෙතුමාගේ අනුස්මරණ පිළිරුව නවම් මාවතේ ඉදි කර ඇත.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළු වමේ ව්‍යාපාරය විසින් ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස 1956 දී අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කළේ ය.

කෙසේ වෙතත් අද මැයි දිනය කම්කරු පන්තියේ අවශ්‍යතා මත නොපවත්වන අතර එක් එක් දේශපාලන පක්‍ෂවල පටු දේශපාලන අවශ්‍යතා සඳහා මැයි දිනය යොදා ගනී. නිල්පාට, කොළ පාට, කහ පාට විවිධ වර්ණ යොදා ගනිමින් කම්කරු පන්තියේ අරමුණු අපේක්‍ෂා හා ඉල්ලීම්වලට පටහැනිව පත්වන මැයි සැණකෙළිවලින් වෙන් වී කම්කරු පන්තියේ වර්තමාන හා අනාගත අරමුණු සඳහා මැයි දිනය යොදා ගැනීම ගැන වැඩ කරන ජනතාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල හා සංවිධානවල වගකීම වෙයි.

1906 අගෝස්තු මස 13 වැනිදා පන්දහසක පමණ කරත්තකරුවන් දියත් කරන ලද මහා වැඩ වර්ජනය කම්කරු සටන් ඉතිහාසය තුළ වැඩ වර්ජනයකින් විශිෂ්ට ජයක් අත්කරගත් පළමු වැනි අවස්ථාව ලෙස සැලකෙයි. කරත්තයක් දක්කාගෙන යන අවස්ථාවේ බෝන් ලීයේ හෝ කරත්තය උඩ වාඩිවී යාම තහනම් කරමින් කොළඹ නගර සභාව විසින් කරත්තකරුවන්ට පැනවූ රෙගුලාසියට විරුද්ධව මෙම වැඩවර්ජනය දියත් කර ඇති අතර ඉන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට කරත්තකරුවන්ට හැකි විය.

එසේම කොළඹ වරායේ කම්කරුවන් 5000ක් 1920 මාර්තු 20 දා ඇරඹි වැඩ වැරුම මෙරට වෘත්තිය සටන් ඉතිහාසයේ ප්‍රථම විශාලතම වැඩ වර්ජනය ලෙස සටහන්ව ඇත.

දිනකට රුපියල් දහයකින්වත් වැටුප් වැඩිකර දෙන ලෙස ඉල්ලමින් 1980 ජූලි 05 වැනිදා ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජනය මෑත ඉතිහාසයේ පාලකයන් විසින් කම්කරුවන් විශාල පිරිසක් දොරට දැමූ අවස්ථාවක් ලෙස ඉතිහාසයේ ලියවී ඇත.

පොලිස් වෙඩි පහරින් මළ පළමු වතු කම්කරුවා

1940 ජනවාරි 12 වැනිදා වතු කම්කරුවකු බිලි ගත් මුල්ඔය වතු කම්කරු සටන ද මෙරට කම්කරු සටන් ඉතිහාසයේ තේ දල්ලේ ලේ ගෑවුණු සටනකි. වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කාලය මිඩංගු කළ ජෙගනාදන්ගේ හා ඔහුගේ බිරිඳගේ ස්ථාන මාරුව අවලංගු කිරීමත්, දෛනික වැටුප ශත 16කින් වැඩි කිරීමත් ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමින් වතු කම්කරුවන් සිය අරගලය දියත් කර තිබුණි. මුල්ඔය වැඩ වර්ජිත කම්කරුවන් කර්මාන්ත ශාලාව අසලට රැස් වී සටන් පාඨ කියමින් මාර්ගය දිගේ ඉදිරියට ගමන් කරද්දි එල්ල කරන ලද පොලිස් වෙඩි පහරින් ගෝවින්දන්ට සිය ජීවිතය අහිමි විය. කම්කරු සටනක දී පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ මෙරට ප්‍රථම වතු කම්කරුවා වන්නේ ගෝවින්දන් ය.

1980 ජූලි 05 වැනිදා ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජනය මෑත ඉතිහාසයේ පාලකයන් විසින් කම්කරුවන් විශාල පිරිසක් දොට්ටු දැමු අවස්ථාවක් ලෙස ඉතිහාසයේ ලියවී ඇත.

හතලිස්දාහක් දොට්ට දැමු ජුලි වර්ජනය

දිනකට රුපියල් දහයකින්වත් වැටුප් වැඩිකර දෙන ලෙස ඉල්ලමින් 1980 ජූලි 05 වැනිදා ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජනය මෑත ඉතිහාසයේ පාලකයන් විසින් කම්කරුවන් විශාල පිරිසක් දොට්ටු දැමු අවස්ථාවක් ලෙස ඉතිහාසයේ ලියවී ඇත.

සේවකයන් 40,356 දෙනකුගේ රැකියා අහිමි කරන ලද අතර, පහරදීම්, සිරගත කිරීම් නිසා සිත් තැවුලට පත් වර්ජකයෝ 39 දෙනෙක් සිය දිවි හානිකර ගනු ලැබීය. එමෙන්ම වර්ජකයන් විසින් රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව අසල පැවැත්වූ උද්ඝෝෂණයට මැර ප්‍රහාරයක් එල්ලවූ අතර එහිදි පොදු සේවක වෘත්තීය සමිති ශාඛාවේ දෙද්දුවගේ සෝමපාල කම්කරුවාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ගේ සටන්වලට පිටුබලයක් ලබා දුන් සටන ලෙස 1940 ජනවාරි 10 වැනිදා හේවාහැට ආසනයේ මුල්ඔය වත්තෙන් පැන නැඟුණු කම්කරු සටන සැලකිය හැකිය.

2011 වසරේ දී මහින්ද රාජපක්ෂ රජය විසින් සම්මත කර ගැනීමට උත්සාහ දැරූ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පාමින් රට පුරා ඇවිළී ගිය කම්කරු සටන් ද මෙරට කම්කරු සටන් ඉතිහාසයට සුවිශේෂී ලකුණක් එක් කළේය. එම පනතට විරුද්ධව කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක පිරිස් විසින් පැවැත්වූ උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිස් සේනාංක විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකට ගොදුරුවීමෙන් රොෂේන් චානක රත්නසේකර මරණයට පත් වූයේ 2011 මැයි මස 30 වැනිදා ය.

“වීර පොන්සිනාහාමි” කම්කරුවන්ගේ වීරවරිය

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ඉතිහාසය විමසන විට වෘත්තීය අරගලවලට හවුල්වෙමින් කම්කරු සටන්වලට දායකත්වය දුන් කාන්තාවන් කිහිප දෙනෙකු හමුවන අතර, ඒ අතරින් එදිරිවීර ආරච්චිගේ පොන්සිනාහාමි සුවිශේෂි ස්ථානයක් උසුලයි. පොන්සිනාහාමි: රුපියලේ පඩියට වැඩ කළ කම්කරු කතගේ අරගලයේ කතාව

එවක තරුණියක් වු ඇය 1929 ට්‍රෑම්කාර් වර්ජනය පෙරට යමින් තිබිය දී වැඩ වැරූ කම්කරුවන්ට සහයෝගය දෙමින් රථ වාහනයට අවහිර කරමින් ට්‍රෑම් පීලි හරහා වැතිර සිටි බවට කම්කරු ඉතිහාසය සාක්ෂි දරයි. ඇගේ නිර්භය වීරත්වය නිසාම කම්කරුවන් විසින් ඇය හඳුන්වනු ලැබ තිබෙන්නේ “වීර පොන්සිනාහාමි” යනුවෙනි. එක්සත් කම්කරු සම්මේලනය නියෝජනය කළ ඇයගේ සටන්කාමීත්වය නිසාම ඇයට සිර දඬුවම් විදීමට ද සිදුව ඇති අතර කම්කරු සටන් වෙනුවෙන් ඇය දැක්වූ දායකත්වය නිසාවෙන් ජාත්‍යන්තර ඇගයීමට ද ලක්ව ඇතැ යි ඉතිහාසයේ කියැවේ.

ඉතිහාසයේ දී කම්කරුවන් සටන් වැදී ජීවිත පූජා කරමින් වත්මන් කම්කරුවන්ට දිනා දුන් අයිතීන් බොහෝමයකි. අනාගත කම්කරුවන් හට වඩා සුබදායි අනාගතයක් උදා කර දීමට ක්‍රියාකරලීමේ වගකීම වත්මන් කම්කරු ව්‍යාපාරයට පැවරී ඇත්තේ උරුමයක් ලෙසිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *