අපේ නිදහස් සටන
අපේ නිදහස් සටන

1551 සිට ශ්‍රී ලංකාවේ ජන අරගලය – එක්සේසත් ජනතා හිතෛෂී පෙරමුණ ඉදිරිපත් කිරීමකි
2024 පෙබරවාරි 04 වැනිදා – නිදහස වෙනුවෙන් එක්සේසත් ජනතා හිතෛෂී පෙරමුණේ සටහන
“ඡන්දය දෙන කොට වුනත් හොඳ බුද්ධිමත් කෙනෙකුට ඡන්දය දෙන්න ඕන. බුද්ධිමත් නොවන අය බලයට පත් කළා ම එම රටේ සංවර්ධනය අඩල වෙනවා එම රටේ මිනිසුන් දරිද්‍රතාවයට පත් වෙනවා, අගහිඟකම් වැඩි වෙනවා සමහරු ජිවත් වීම, කුස ගින්න වෙනුවෙන් නීත්‍යනුකූල නොවන ජීවන මං පෙත් විවර කර ගන්නවා, නීතිය සාධාරණත්වය වෙනුවෙන් දඬුවම් කරනවා. මතක තියා ගන්න කුස ගින්න වේදනාව කඳුළු හැමෝටම පොදු බව එම අවස්ථාව මුලීක කර ගෙන බොහෝ දෙනා අරගලය කරනවා මෙරට උපන් බලය ඇති ටොරින්ටන් ලා එම අරගලය මෙහෙයවා එමගින් බලයට ඒමට තැත් කරනවා. අප මුතුත්මිත්තන් අපගේ නිදහස තකා දහඩිය ලේ වගුරාවා ජීවන හුස්ම නිම කල මේ නිව හල් දේශය සුර කීම අප සතු වගකීම බව මතක තබා ගන්න.”
බී.එම්.අයි. කමල් ප්රියදර්ශණ. – (ලේකම් සහ නිර්මාතෘ- එක්සේසත් ජනතා හිතෛෂී පෙරමුණ )
1562 – මුල්ලේරියා සටන
වර්ෂ 1551 සිට 1597 තෙක් වූ පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්ව සිටි ධර්මපාල රජු ගේ රාජ්‍ය පාලන සමය හෙළයින්ට හිතකර නොවීය. සිංහල ලේ කුපිත වූයේ ය.මහ සඟ රුවනක් වූ ‘බුද්ධ වංශ’ තෙරුණ්ගේ රණ හඬින් පිබිද රට දැය සුරැකීමට කටයුතු කළ භික්ෂූණ් වහන්සේලා 30 නමක් පෘතුගීසීන් විසින් ඝාතනය කරනු ලැබූ නිසා වෙනි. ඊට පළි ගැනීමක් වශයෙන් 1562 දී සීතාවක මායා දුන්නේ රජු තම පුත් ටිකිරි කුමරු (සෙන්පති), පනාපිටිය මුදලි, වික්‍රමසිංහ මුදලි ඇතුළුව හමුදා සේනාංක 3කින් ගොස් කෝට්ටේ පෘතුගීසි යටත් ප්‍රදේශ වටලා සටන් කොට මුල්ලේරියා වෙලේ දී දොන් ජෝර්ජ් මෙනසස්ගේ නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාව සමූහ ඝාතනය කරමින් රට එක් සේසත් කළේ ය.
මෙම සටන රාජාවලියේ මෙලෙස සඳහන් වේ:
කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
යුදට උපන් කුමරිදු යයි නමක් ඇතිවුනා
මුල්ලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා (—ජන කවි—)
1594 – දන්තුරේ සටන
1591 වන විට සීතාවක රාජසිංහ රජුගේ ක්‍රියාකාරකම් නිසා උඩරටට නෑකම් කියූ යමසිංහ බණ්‌ඩාර (දොන් පිලිප්), කොනප්පු බණ්‌ඩාර (දොන් ජෝන්), කුසුමාසන දේවිය (දොන් කැත්‍රිනා) ඇතුළු පිරිසක් බෞතීෂ්මව පෘතුගීසි ආරක්‍ෂාව යටතේ රැකවරණ ලැබීය. නමුදු පෘතුගීසීන් විසින් දොන් පිලිප් කුමාරයාට රජකම දීම පිළිබඳව කිපුණු දොන් ජෝන් කුමාරයා පිලිප් රජු මරා විමලධර්මසූරිය නමින් රජ විය. ඒ හේතුවෙන් පෘතුගීසීහු සහ විමලධර්මසූරිය රජු අතර විටින් විට සටන් ඇවිලෙනු අතර 1594දී දන්තුරේ දී ඇතිවූ මහ සටනින් සිංහල හමුදා වන් අතින් පෙඩ්රෝ ලෝපෙස්‌ද සූසා ඇතුළු පෘතුගීසි හමුදාව යළිත් වරක් සමූහ ඝාතනය විය.
“වර්ෂ 1594 ක් වූ ඔක්තෝබර් මස 06 දින ප්‍රතිකාල් සේනාව බලන අසල ලන්දකට පැමිණියා ය. සක් හඩද හේවිසි හඩ ද පැතිරිණි. ඒ අසල මාන බලමින් සිටි විමලධර්ම රජුගේ විශාල යුද හමුදාව පෘතුගීසි පහර දෙන්නට විය. සිංහලයන්ගේ ඊතල සහ වෙඩි උණ්ඩ ප්‍රචණ්ඩ වාත මේඝයකින් මෙන් ප්‍රතිකාල් සෙන් ඉත්තෙහි පතිත වන්නට වන”
(———මහා වංශය ———)
1603 – බලන සටන
විමලධර්මසූරිය රජුට වැඩි කලක් සාමකාමී ව රාජ්‍යය කර ගෙන යාමට පෘතුගීසි හු ඉඩ නො දුන්හ. 1602දී ජෙනරාල් ජෙරනිමෝද අසවේදු නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාවෝ අළුත්නුවර, බුද්දස්ගොඩ, ගනේතැන්න බළකොටු අල්ලා ගනිමින් සටන් දියත් කරන්නට විය. 1603 ජනවාරි 18 දින දඹදෙනියට හා හාරිස්පත්තුවට සතුරු හමුදා පහර දෙන බැව් සැලවීමත් සමග සේතු පාල බණ්ඩාර සෙනෙවි වරයා මහ නුවරින් සේනාංකයක් රැගෙන ගොස් ඊට ප්‍රති ප්‍රහාර දුන්නේ ය. බලන කොටුවේ සිට තම සේනාංක මෙහෙයවූ විමලධර්මසූරිය රජු යළිත් පසු බැස්සේ ය. දින කීපයකට පසු 1603 පෙබරවාරි 2 වන දින අලුයම බලන කොටුවට නො වත්වා පහර එල්ල වන්නට විය. කපිතාන් ජෙනරාල් ජෙරනිමෝ ද අස්වේදු කොළඹ කොටුවට පැන ගත්තේ ය. කටුගම්පොළ, අට්ටාපිටිය, රක්ගහවත්ත ඇතුළුව පෘතුගීසි යටත් ප්‍රදේශ සිංහල හමුදා වන් ජය ගනිද්දී කාන්ගරආරච්චි සෙනෙවියා මීගමුව බළකොටුව තම අණසකට යටත් කොට ගෙන තිබුණා.
1630 -රන්දෙනිවල සටන
විමලධර්මසූරිය රජුගෙන් පසු උඩරට රජ වූයේ ඔහුගේ ම සොහොයුරෙකු වූ සෙනරත් රජු ය. 1617දී සෙනරත් රජු හා පෘතුගීසි න් අතර සාම ගිවිසුමක් ඇති විය. නමුදු 1618දී ජෙනරාල් වශයෙන් පත්ව ආ කොන්ස්‌තන්තතීනු ද සා 1627, 1628 වර්ෂයන් හිදී උඩරට ආක්‍රමණය කොට මහත් හානි සිදු කළේ ය. 1630 අගෝස්තු මස මුල් සතියේ ද පෘතුගීසි සොල්දාදුවන් 508 කින් සහ සිංහල හේවායන් 5000 කින් සමන්විත හමුදාවක් සමඟ බදුල්ලට ඇතුළු වූහ. පෙර සූදානම් ව සිටි සෙනරත් රජුගේ සිංහල සේනා වන් සැඟවී ප්‍රහාරයන් දියත් කළේ ය. නො සිතූ මොහොතක එල්ල වූ ප්‍රහාරකයන්ගෙන් හෙම්බත් වූ පෘතුගීසි හමුදාව අවසානයේ වැල්ලවාය, රන්දෙනිවලට පැමිණියහ. එදින 1630 අගෝස්තු මස 20වැනි දිනයි. සිංහල හේවායන්ට ස්වභාව ධර්මයේ ද ආශීර්වාදය ලැබුණි. මහ වැසි ඇද හැලී පෘතුගීසීන්ගේ වෙඩි බෙහෙත් තෙත් වී තුවක්කු පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයක් උදවිය. සිංහල හමුදා වන් නො වත්වා දියත් කළ ප්‍රහාර නිසා වෙන් පෘතුග්‍රීසීන් 350ක් පමණ මැරුම් කෑහ. කොන්ස්‌තන්තතීනු ද සා වෙඩි වැදී මරු මුවට පත් විය. උඩරට රාජධානිය යළිත් සිංහලයින් සතු විය.
1638 -ගන්නොරුව සටන
මෙම කාලයේ ලක්දිව රජකම හෙබි වූයේ 2 වැනි රාජසිංහ රජු ය. එතුමා පෘතුගීසින් වෙත යැවූ සාම ලිපි තඹ දොයිතුවකට ගණන් නොගත් ඔවුහු යළිත් අප රට ආක්‍රමණය කිරීමට කටයුතු සම්පාදනය කළේ ය. අවසන් හුස්ම පොද තෙක් ම සටන් කිරීමට සිංහල හමුදාව පෙළ ගැසෙද්දී පන්දහසක ලස්කිරිඤ්ඤ හමුදාවක් පෘතුගීසින්ට එක් විය. 1638 මාර්තු 26වැනි දින අට්ටාපිටියෙන් තම අවසන් ගමන පිටත් වූ පෘතුගීසි හමුදාවේ කපිතාන් ජෙනරාල් දියෝගුද මේලෝද කැස්ත්‍රෝ ප්‍රමුඛ පෘතුගීසි හමුදාව කිසිදු අභියෝගයකින් තොරව මහනුවරට පැමිණිය ද මුල්ගම්පොල හා දෙයියන්නේවෙලදී ඔවුනට සිංහල හමුදාවන්ට මුහුණ දීමට සිදු විය. සිංහල හමුදාවන්ගේ ප්‍රහාරයෙන් හමුවේ මහවැලි ගඟ තරණය කර ගැනීමට නොහැකි වූ පෘතුගීසි හමුදාව ගන්නෝරුවෙහි කඳවුරු බැඳ ගත්හ. 1638 මාර්තු මස 28වැනි දින උදා විය. අලුයමින් දියත් වූ සිංහල ප්‍රහාරකයන්ගේ ප්‍රතිඵලය වූයේ හිරු කිරණ පතිත වන විට කපිතාන් ජෙනරාල් දියෝගුද මේලොද කැස්ත්‍රෝ සහ කපිතාන් මේජර් දම්යාන් බොතාදු ඇතුළු 2500ක පෘතුගීසි හමුදාවෝ නිරුද්ධ ප්‍රාණයන්ගෙන් වැනසි සිටීමයි.
1818 – වෙල්ලස්ස සටන
1815 මාර්තු 2වැනිදා ඉංග‍්‍රීසින්ට ලංකාවේ බලය අත්පත් වුව ද කෙටි කාලයක් යාමටත් මත්තෙන් ඔවුහු ගිවිසුමේ පොරොන්දු කඩ කරමින්, බදු පනවමින් මෙරට සම්පත් හා ශ්‍රමය සූරා කන්නට විය. ඉංග්‍රීසිත් ක‍්‍රිස්තු භක්තිකයන් බැවින් භික්ෂූන් වහන්සේලා සහ බුදු සසුන දිනෙන් දින අපහාසයට ලක් වන්නට විය. වසර 180කට පසු යළිත් සිංහල ලේ කුපිත වන්නට විය. දොරේසාමි වැදි හමුදාවක් සමඟ වෙල්ලස්සට සම්ප්‍රාප්ත වූයේ ය. බූටෑවේ රටේරාල ඇතුළු සිංහල ජන කොටස් දොරේසාමි ඇතුළු පිරිස සමඟ එක් වූහ. ඒ අතරතුර මෙම සිංහල පිබිදීමට එරෙහි වන්නට ආ බදුල්ලේ ඒජන්ත වූ විල්සන් ලුතිනන් සිංහල සටන් කරුවන්ගේ හී පහරකින් මරු මුවට පත් විය. වෙල්ලස්සේ සටන ඇවිලිණි. ඉංග්‍රීසීන්ට වැරදුණේ එතැනය. සටන මැඩ පැවැත්වීමට ඔවුහු එවූවේ සිංහලයෙකි. ඔහු නමින් මොණරවිල කැප්පෙටිපොල විය. කැප්පෙටිපොල දිසාවේ හමුවූ බූටෑවේ රටේරාල ඔහුට කරුණු පැහැදිලි කර දුන් අතර එහි ප්‍රථීඵලයක් ලෙසින් තමන් කැටුව ආ ඉංග්‍රීසි හමුදාව යළි හරවා යැවූ කැප්පෙටිපොළ වීරයා 1817 නොවැම්බර් 1වැනි දින අළුපොත දී හෙළයින්ගේ කැරැල්ලට එක් විය.
සටන් කරුවන්ගේ බරපතළ පහර දීම් වලින් බැටකෑ ඉංග්‍රීසි හමුදාවෝ වියරුවෙන් මෙන් උඩරට ගම් බිම් වනසන්නට විය. වතුපිටි, ඉඩකඩම් කොල්ල කෑහ. වෙල්ලස්සේ වෙල් එක රැයකින් අළු දූලි බවට පත් කළහ. කුඩා දරුවන්, කාන්තාවන්, තරුණ තරුණියන් කපා කොටා ඝාතනය කරමින් අමානුෂික මෙහෙයුමක් දියත් කළේ ය. සිවිල් ජනයා නිකරුණේ මරු වැළඳ ගනු දුටු කැරැල්ලේ නායකයින්ට සිදු වූයේ සටන අත්හැර දැමීමටයි. නො එසේ නම් නිවට ඉංග්‍රීසි හමුදාවෝ අතින් තව තවත් සිවිල් ජනයා නිස්කාරණේ ඝාතනය වනු ඇත. සිංහල හමුදා වන් සටන් ලිහිල් කළහ. කැප්පෙටිපොල හා පිළිමතලාවේ 1818 ඔක්තොම්බර් 28 වැනිදා නුවර කලාවියේ පරවහගම දී ලූතිනන් වෙනිල් ඇතුළු ඉංග‍්‍රීසි භට පිරිසකගේ අත්තඩංගුවට පත්විය. 1818 නොවැම්බර් 2වන දින උදාවිය. හෝරා කිහිපයක් ප්‍රමාද වීදී හිරු පායද්දී බෝගම්බර පිටිය සිංහල ලෙයින් තෙත්ව ගොස් හමාරය. කැප්පෙටිපොල වීරයාගේ හිස කඳින් වෙන් වූයේ මුළු මහත් ජාතියේ ම නෙත් කඳුළු පුර වමිනි.
1848 – මාතලේ සටන
එවක ආණ්ඩුකාරවරයා සිටි ටොරිංටන් සාමිවරයා ලක්වාසීනට පනවා තිබූ බදු අනිසි ලෙස වැඩි කළේ ය. නිවසේ විසූ සුනඛයින්ට පවා බදු ගසන්නට විය. ටොරිංටන්ගේ පාලන ක්‍රියා කලාපය ලක්වාසීනට නොරිස්සමින් පවතිද්දී එක් විශේෂ සිදු වීමක් සිදු විය. එනම් කළම්බු ඔබ්සවර් පත්‍රයෙහි ලිපියක “අසාධාරණ බදු ගෙවමින් තම බලය නො පෙන්වා සිටීම නිසා සිංහලයා අසාධාරණයට හිස නමන නිවට ජාතියක් ලෙස ලෝකවාසියන් පිළිගනු ඇත” යනුවෙන් පළ වීමයි. ගත වූයේ දින කිහිපයකි. කොළඹ, මහ නුවර, බොරැල්ල ආදී ජනාකීර්ණ නගර තුලින් මතු වන්නට වූයේ සිංහලේ ජන හඬයි. නමුදු ඒ වන විටත් ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දී තිබූ පෙත්සම් හෙවත් ඇඟ බේරා ගැනීමේ කලාව මෙරට ජන සමාජය තුල මුල් බැස ගෙන තිබිණි. ඒ අනුව යමින් 1848 ජුනි මස 6වැනි දින මහ නුවරට රැස් වූ 4000ක පමණ පිරිසක ගේ පෙත්සමක් ඉංග්‍රීසි ආණ්ඩුව වෙත යැවීය.
ඉංග්‍රීසීහු එය අංශු මාත්‍රාවකට ගණන් නොගත් නිසා වෙන් ආයාචනය පසෙ ලූ හෙළයින් අරගලයකට එක් රොක් වූහ. කුරුණෑගල අරගලයට හගුරංකෙත ඩිංගිරාල කෝරාළාත්, මාතලේ අරගලයට ගොංගාලේ ගොඩබණ්ඩාත් නායකත්වය දුන්හ. ඒ අතරතුර පුරන් අප්පුද මාතලේ අරගලයට එක් විය. අරගලය සටනකට මුල් පෑදුවේ ය. දඹුල්ල, මාතලේ, වාරියපොළ, කුරුණෑගල ප්‍රදේශ තුල දරුණු සටන් ඇති විය. ඉංග්‍රීසි හමුදාව දහස් ගණනක් මැරුම් කෑහ. මහ උසාවිය විනාශ විය. මුඩු බිම් පනත ගිනි තැබුවේ ය. කුරුණෑගල සිර ගේ බින්දේ ය. අන්ත අසරණ වූ ටොරිංටන්ට අවසානයේ යුධ නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු විය. සිදු වූයේ කිසි කෙනෙකු නොසිතූවකි. නැවත වතාවක් ඉංග්‍රීසි හමුදාවෝ යුධ නීති උල්ලංඝනය කරමින් සිවිල් වාසය වනසන්නට විය. මාතලේ කැරැල්ලට උපකාර කළ කුඩාපොල හිමියන් 1848 අගෝස්තු 26වැනි දින මහ නුවර දළදා මාළිගාව ඉදිරිපිටදී වෙඩි තබා අපවත් කරන ඉංග්‍රීසි හමුදාවෝ 1848 අගෝස්තු 29වැනි දින පුරන් අප්පු වීරයාවත් ඩිංගිරාළ වීරයා වත් වෙඩි තබා ඝාතනය කරමින් මාතලේ සටන තිඹිරි ගෙයිහිම විනාශ කළේය.
“මගේ අම්මා මං වගේ තව තුන් දෙනෙක් වත් බිහි කළා නම් ඉංග්‍රීසි පරයන්ව අපේ රටෙන් අතුගාලා දාන්න තිබ්බා” (——– වීර පුරන් අප්පු ——– )
බ්‍රිතාන්‍ය යන්ට එරෙහි නිදහස් සටන්
. 1818 නිදහස් සටනට තුඩු දුන් ආසන්නතම හේතු
• උසස් නිලතල සිංහල පවුල් වලට ලාබ දීමේ සම්ප්‍රදායට පටහැණි වෙල්ලස්සට “හජ්ජි මරික්කාර්” නැමැති මුස්ලිම් මුහන්දිරම් වරයෙකු පත් කිරීම. මේ අතර රජ පෙළපතට සම්බන්ධකම් කී තමාට රජකමෙි උරුමය ඇතැයි ‘විල්බාව ප්‍රදේශයේ‘ “දොරේසාමි” නම් තැනැත්තෙකු පෙනී සිටින ලදී.
• 1817 වසරේ මැද භාගයේ දී දොරේසාමී අල්ලා ගැනීම සදහා ‘හජ්ජි මරික්කාර්’ කැටුව බදුල්ලේ උප ඒජන්ත වූ ‘සිල්වෙස්ටර් විල්සන්’ යවන ලදි. කුපිත වූ ජනතාව ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලදී. වෙල්ලස්සෙන් ඇරඹි කැරැල්ල වැඩිකල් යාමට පෙර උඩරට ප්‍රදේශය පුරා පැතිරිණි.
• සටන මැඩලීමට පැමිණි කැප්පැටිපොළ දිසාවේද, කැරලිකරුවන්ට එක්වීම නිසා ඉංග්‍රීසින්ට විශාල පාඩුවක් සිදුවිය. දන්ත ධාතූන් වහන්සේ ඉංග්‍රීසීන් සතුවීමත් සමග . 1818 ජනවාරි මස වන විට දුම්බර, හේවාවැට , සත්කෝරලය, මාතලේ, හාරිස්පතුතව, සබරගමුව හා නුවර කාලාවිය යන ප්‍රදේශ පුරා පැතිරී යන ලදී.මෙම ප්‍රදේශවල මාර්ෂල් ලෝ හෙවත් යුධ නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සටන අසාර්ථක විය.
1818 නිදහස් සටනට තුඩු දුන් අනෙකුත් හේතු
1. අදෘශ්‍යමාන රජෙකුට ගෞරව කිරීම.
• උඩරට ජනතාව පුරුදුව සිටියේ තම දෙනෙත්වලින් රජු බලා තම ඕනෑ එපා කම් සපුරා ගැනීමටයි. නමුත් බ්‍රිතාන්‍යයන් සතු වීමත් සමග රජු වශයෙන් සලකන්නට වූයේ කිසි දා දැක ගැනීමට නොහැකි රජෙකි. සිහසුනේ රජු තමන්ට දැක ගැනීමට නොහැකි වීම ගැන උඩරැටියන් කනස්සල්ලට පත් විය.
2. රදලවරුන්ගේ බලලෝභී අපේක්ෂා
• ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහ කොට උඩරට රාජ්‍යය තමා වෙත පවරා දෙනු ඇතැයි ඇහැළේපොළ කල්පනා කරන ලදී. උඩරැටියන් ඔහුව හැඳින්වූවේ “දෙවෙනි රජ්ජුරුවෝ” යන නමිනි. රජුගේ අයිතිවාසිකම් වලට මෙන් උරුම කම් කී ඇහැළේපොළට රජකම බලාපොරොත්තු වූ වත් අපේක්ෂා භංගත්වයට පත් විය.
3. රදලවැන්ගේ කලකිරීම.
• සිංහල පාලනය යටතේ විශාල වශයෙන් බලතල භුක්ති විදිමින් සිටි රදලවරුන් ප්‍රාදේශීය රජවරුන් ලෙස කටයුතු කිරීම. එහෙත් ඉංග්‍රීසි පාලනය හමුවේ ඔවුන් අවතක්සේරුවට පත් විය. තීරුබදු අය කිරීම, නඩු විසඳීම, බ්‍රිතාන්‍යය අණසක අනුව ක්‍රියා කිරීමට සිදුවීම. රජුට පමණක් දෙවෙනි වී ක්‍රියා කල රදලයන්ගේ එම තත්වය නැත්වීම දැඩි කනස්සල්ලට හේතු විය.
4. භික්ෂූන් වහන්සේගේ කල කිරීම.
• . 1815 උඩරට ගිවිසුමේ සදහන් පරිදි බුද්ධාගමට හෝ බෞද්ධ භික්ෂූන් වහන්සේට බ්‍රිතාන්‍යය පාලන සමය තුළ රජ කාලයේ මෙන් ගරු බුහුමන් නොලැබුණී. රාජ අනුග්‍රහය උඩරට ගිවිසුමේ පරිදි නොලැබුණී. මේ තත්වය භික්ෂූන් වහන්සේ සහ බුද්ධාගමට දැඩි ලෙස සම්බන්ධව සිටි සාමාන්‍යය ජනතාව ද කලකිරීමට හේතු විය.
5. . 1815 උඩරට ගිවිසුමේ පොරොන්දු ඉටු නො වීම.
• උඩරට ගිවිසුමේ පොරොන්දු වූ පරිදි පැරණි නීති රීති සහ සම්ප්‍රදායින් ආරක්ෂා කරමින් සිය පාලනය ගෙන යන බව ඉංග්‍රීසීන් ප්‍රකාශ කලද එය එලෙස ඉටු නොවීම.
1818 නිදහස් සටනේ නායකයින්
1. මොණරවිල කැප්පැටිපොළ
2. කිවුල්ගෙදර මොහොට්ටාල’
3. මඩුගල්ලේ
4. බූටෑවේ රටේ රාළ
5. ගොඩේ ගෙදර අදිකාරම්
6. ගලගෙදර ඓාහොට්ටාල
7. කොහු කුඹුරේ රටේ රාළ
8. පිළිමතලව්වේ දෙවන මහදිකාරම්
9. දඹවින්න දිසාවේ
10. දිඹුලාන දිසාවේ
1818 නිදහස් සටන අසාර්ථක වීමට බලපෑ කරුණු
•කැරැල්ල මනා ලෙස සංවිධානය නො වීම එනම් ඒකාබද්ධ සටනකට වඩා තැන තැන සටන් ඇතිවීම.
•මොල්ලිගොඩ දිසාවේ ඉංග්‍රීසීන්ට පක්ෂපාත වීම නිසා ඔහුගේ දිසාවනිය හරහා ඉංග්‍රීසීන්ට කොළඹ- මහනුවර සබඳතා පවත්වා ගතහැකි වීම.
•දන්ත ධාතූන් වහන්සේ ඉංග්‍රීසීන් සතු වීම.
•කැරැල්ල දරුණු ලෙස මර්දනය කිරීමේ ප්‍රතිපත්තිය.(මෙහි දී ඉංග්‍රීසීන් විසින් ගෙවල් ගිනිබත් කිරීම, දේපළ විනාශ කිරීම, කැරලිකරුවන් මරා දැමීම.)
• දොරේසාමී සිහසුනේ උරුමක්කාරයෙකු නොවන බව හෙළි වීම.(ඔහු විල්බාව ග්‍රාමයේ පැවිදි පුද්ගලයෙකු වීම.)
1818 නිදහස් සටනේ ප්‍රතිඵල
• සිංහල රදල නායකයින්ගේ ජීවිත රැසක් අහිමි වීම. කැරලි නායකයන් වූ වීර කැප්පැටිපොළ දිසාවේ හා මඩුුගල්ලේ රාජද්‍රෝහීන් ලෙස මහනුවර බෝගම්බර දී හිස ගසා මරණයට පත් කිරීම.
• ඇහැළේපොළ ඇතුළු පිරිස මුරුසි දිවයිනට පිටත් කර යැවීම.
• උඩරට දේශීය නිලධාරීන් වැටුප් ලබන සේවකයන් ලෙස පත් කිරීම.
• රදල බලය තවදුරටත් අඩු කිරීම. (අධිකරණ බලය ඉංග්‍රීසි ඒජන්තවරයන්ට පැවරීම.)
• උඩරට අන්‍ය ආගම් පැතිරීමට ඉඩ ලබා දීම.
• උඩරට ප්‍රදේශවල මහා මාර්ග තනවා ලංකාවේ පහතරට ප්‍රදේශ සමග සම්බන්ධ කර එම ප්‍රදේශ හුදකලා තත්වයෙන් මිදීමට කටයුතු කිරීම.
• ගම්බම් රාශියක් ගිනි තබා විනාශ කිරීම නිසා රට වැසියෝ බොහෝ දෙනෙක් ආහාර හිඟයට හා ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් මරණයට පත් වීම.
• දේශීය නිලධාරීන්ට පත්වීම් ලැබුණේ බ්‍රිතාන්‍යය ආණ්ඩුව විසින් නිකුත් කරන ලද පත්වීම් ලිපිවලට පමණක් වීම.
• උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය අනුව බුද්ධාගමට ලැබුණු විශේෂත්වය වෙනස් කිරීමට සටන අවස්ථාවක් කරගැනීම.
• . 1815 උඩරට ගිවිසුමේ ඒකපාර්ෂිකව අහෝසි කර 1818 නොවැම්බර් මස 21 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් උඩරට යුද්ධයෙන් ජයගත් ප්‍රදේශයක් බවට තහවුරු කිරීම.
1848 නිදහස් සටන
සර් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගෙන් පසු, 1848 අපේ රටේ වැඩ භාර ගත්තු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවර ලැයිස්තුව
*එඩ්වඩ් පැජට් (1822 – 1824)
*එඩ්වඩ් බාන්ස් (1824 – 1831)
*රොබට් විල්මට් හෝට්න් (1831 – 1837)
*ජේ.ඒ.ස්ටුවට් මැකන්සි (1837 – 1841)
*කොලින් කැමල් (1841 – 1847)
*ටොරිංටන් සාමි (1847 – 1850)
ටොරිංටන් ස්වාමිවරයගෙන් අපි ලැයිස්තු ගත කිරීම නැවැත්තුවේ අපේ සාකච්ඡාව 1848 ටොරිංටන් ස්වාමිවරයා ආණ්ඩු කරන කාලේ ඉදන් පටන් ගන්න නිසා. 1818 ඒ මහා අරගලයෙන් පස්සෙ සිද්ධ වුණු ඊළග ප්‍රබලම අරගලය සිද්ධ වෙන්නෙ 1848 දි. මේ කාලය වෙන කොට (19 වන සියවස) ලෝකයේ ආර්ථික පරිහානියක් ඇති වෙන්න ගත්තා. ඒ නිසා අපේ රටෙන් අපනයනය කරන කදුරුදුවල මිළත් එන්න එන්නම පහළ බහින්න ගත්තා. රාජ්‍ය ආදායම අඩු වුණ නිසා රාජ්‍ය වියදම් පියව ගන්න බැරි තත්වයක් උදා වෙන්න ගත්තා.
මේ නිසා ටොරිංටන් ස්වාමිවරයා ඒ වෙන කොටත් අය කරපු බදු වර්ග සෑහෙන ප්‍රතිශතයකින් වැඩි කළා. ඒ කියන්නෙ ඔය වෙළඳසැල්වලට, ඔරුවලට, පාරුවලට, බෝට්ටුවලට, මුද්දරවලට ගහපු බදු එහෙම. ඒ විතරක් නෙවේ, අලුත් අලුත් බදු වර්ගත් පනවන්න ගත්තා. ගෙදර තියෙන බර කරත්තයට අවුරුද්දකට රන් පවුමක් ද තුවක්කුවලට සීලිම් දෙකක් ද ගෙදර ඉන්න බල්ලටත් අවුරුද්දකට සීලිමක් බදු වශයෙන් අය කළා. සෑම අවුරුද්දකට නොමිලේ සති 3ක් පිරිමි අනිවාර්යයෙන් මාර්ග තැනීමේ වැඩවලටත් සහය දැක්වීම නීතිගත කලා මෙයින් නිදහස් වීමට විශාල ගාස්තුවත් ආණ්ඩුවට ගෙවිය යුතු විය.
අපේ රටේ මිනිසුන්ගේ පෞද්ගලික තොරතුරු එකතු කරලා වාර්තාවකුත් හදන්න ගත්තා (නිල් පොත ව්‍යාපෘතිය – Blue Data Book). මෙයින් ආණ්ඩුව තව තවත් බදු ගහයි කියලා මිනිස්සු තවත් කලබල වුනා. මිනිස්සු මේ ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කෙපමන කිවත්, ආණ්ඩුව ගණන් ගත්තෙ නෑ.
මේ විදිහට කාලයක් යන කොට “Colombo Observer” පත්තරයේ ලිපියක මෙන්න මෙහෙම කොටසක් පළ වුණා.
“අසාධාරණ බදු ගෙවමින් තම බලය නො පෙන්වා සිටීම නිසා සිංහලයා අසාධාරණයට හිස නමන නිවට ජාතියක් ලෙස ලෝ වැසියන් පිළිගනු ඇත”
මේක දැකපු අපේ මිනිස්සු ඇවිස්සුනා. බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙලා, හිටපු අයත් ටිකෙන් ටික ඇහැරෙන්න ගත්තා. මේ ලිපිය ඊට පස්සෙ අපේ රට වටා සංසරණය වුනා. රට පුරාම මේ දැන්වීම අච්චු ගහලා බෙදන්න ගත්තා. මෙයින් දින 3ක් යන කොට 1848 නිදහස් අරගලය පටන් ගත්තා. ලක්ෂ ගණන් මිනිස්සු ඉංග්‍රීසි පාලනයට විරුද්ධ වෙලා පාරට බහින්න ගන්නවා.
රට පුරාම උද්ඝෝෂණ මතු වෙන්න ගන්නවා. විශේෂයෙන් කොළඹ, මහ නුවර, බොරැල්ල වගේ ජනාකීර්ණ නගර ඉලක්ක කර ගෙන. ආණ්ඩුකාරවරයාට මේ අසාධාරණය ගැන කියලා මිනිස්සු පෙත්සම් යවන්න ගත්තා. ඒත් ආණ්ඩුකාරවරයා මෙව්වා ඒ කණින් අහලා, මේ කණින් පිට කළා. ඉතින් අන්තිමේදි විප්ලවයක් පටන් ගත්තා.
ගාල්ල කච්චේරිය ඉස්සරහ කරපු උද්ඝෝෂණයේ දී යටත් විජිත ලේකම් “එම(ර්)සන් ටෙනන්ට්”ට අපේ මිනිසුන්ගෙන් ගුටි කන්නත් වෙනවා. මේ අස්සෙ 1848 ජුනි මාසෙ 6 වෙනිදා මහ නුවරට රැස් වුණු 4000ක විතර පිරිසක් පෙත්සමක් අත්සන් කරනවා අලුත් බදු ක්‍රමේට විරුද්ධව. පෙත්සම මඩුගල්ලේ (දුම්බර රටේ මහත්මයා) මහ නුවර ඒජන්තවරයා වුණු “බුල(ර්)ස්”ට භාර දුන්නත්, වගක් වන් නෑ . අලුත් බදු ක්‍රමයට එරෙහිව ආරම්භ කරපු සටන, අන්තිමේ දී බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් සටනක් බවට පරිවර්තනය වෙන්න ගන්නවා.
කුරුණෑගල අරගලයට හගුරංකෙත ඩිංගිරාළ කොරාළත්, මාතලේ අරගලයට ගොංගාලේ ගොඩබණ්ඩත් නායකත්වය දුන්නා. ගොඩබණ්ඩාගේ නායකත්වයෙන් දියත් වෙලා යන මාතලේ සටනට, තවත් දේශ ප්‍රේමියෙක් එකතු වෙනවා. ඒ තමයි පුරන් අප්පු.
රටකට රජ කෙනෙක් අවශ්‍යයි. රජ්ජුරුවෝ රැකුනොත් රට රැකෙනවා. ඒ නිසා මේ ඔක්කොම එකතු වෙලා අපේ රටට අපේ ම පාලකයෙක් පත් කරනවා.
දඹුල්ල රජමහා විහාරයේදී මිනිස්සු ලක්ෂ ගාණකගේ සහභාගීත්වයෙන් ගොංගාලේ ගොඩබණ්ඩාව, “ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි රාජසිංහ” කියලා ඔටුනු පළන දනවා. මේ සිද්ධිය වෙන්නෙ අපේ රටේ අන්තිම රජ්ජුරුවෝ නැති වෙලා අවුරුදු 33කට පස්සෙ.
ගොංගාලේගොඩබණ්ඩාගෙ සහෝදරයා වුණු “පදිය පැලැල්ලෙ බණ්ඩා”ට උප රජ තනතුරත්, හගුරංකෙත ඩිංගිරාළට සත්කෝරළයේ රජ තනතුරත් භාර දෙනවා. ඊට පස්සෙ දඹුල්ල, මාතලේ, වාරියපොළ, කුරුණෑගල වගේ ප්‍රදේශ ඉලක්ක කර ගෙන දරුණු සටන් ඇති වෙන්න ගන්නවා. මේ සටන් වලින් ඉංග්‍රීසි හමුදාවේ දහස් ගාණක් මැරෙනවා.
මහ උසාවිය විනාශ කරලා, මුඩුබිම් පනත් ගැන තියෙන ලියකියවිලි ගිනි තියනවා. කෝපි වතු, කෝපි ගබඩා ගිනි තියනවා. කුරුණෑගල හිරගේ කඩලා, සිංහල මිනිස්සු නිදහස් කරනවා. කුරුණෑගල උසාවිය විනාශ කරලා හේන් වගාව ගැන තියෙන ලියකියවිලි ඔක්කොම පුච්චනවා. මේ නිසා ටොරිංටන් ආණ්ඩුකාරවරයා යුද්ධ නීතිය ක්‍රියාත්මක කරනවා. අරගලයට සහභාගී වෙන අයට වගේම නායකයන්ටත් දිගට හරහට වෙඩි තියන්න ගන්නවා.
කුඩාපොල හාමුදුරුවොත් නිදහස් සටනට උදව් කරන්න ගන්නවා. උන්වහන්සේ සත් කේරළයේ අරගලකරුවන්ට කෑම, බීම්, ඉදුම් හිටුම් දීලා, ගොංගාලේ ගොඩබණ්ඩට ආරක්ෂාව සපයනවා.
මේ අස්සෙ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් වරප්‍රසාද ගන්න කියලා හිතාගෙන පාලකුඹුරේ බස්නායක නිළමෙයි, පුතයි, වීදියවැල්ලෙ විදානෙයි ඉංග්‍රීසීන්ටඋදව් කරනවා. ඒ අයගේ ඔත්තුවක් අනුව ඉංග්‍රීසී හමුදාව කුඩාපොල හාමුදුරුවන් ව අල්ල ගන්නවා. 1848 අගෝස්තු මාසයේ නඩු කියලා, ගොංගාලේ ගොඩබණ්ඩට ආරක්ෂාව සපයා දීමේ වරදට මරණීය දණ්ඩනය දෙන්න ඉංග්‍රීසී උසාවියෙන් නියෝග කරනවා. අගෝස්තු 26 වෙනිදා කුඩාපොල හාමුදුරුවන් ව, මහ නුවර දළදා මාලිගාව ඉස්සරහදි වෙඩි තියලා අපවත් කරනවා. මේ සිද්ධිය ගැන අපේ රටේ විතරක් නොවේ, මුලු ලෝකෙ ම මිනිස්සු කතා කරන්න ගන්නවා. එන්ගලන්තෙ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත් දෙදරලා යනවා.
ඒ එක්ක ම ටොරිංටන් ආණ්ඩුකාරයා සටන් කාරයෝ මර්දනය කරන වැඩේ ඉක්මන් කරන්න ගන්නවා. මේ වැඩේට “කපිතාන් වොට්සන්” කියලා හමුදා නිලධාරියෙක් ඉන්දියාවේ ඉඳන් අපේ රටට එනවා බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව අර ගෙන. සටන උග්‍ර අතට හැරෙනවා. දෙපැත්තෙ ම ගොඩ දෙනෙක් මැරෙනවා. තුවාල වෙනවා. බ්‍රිතාන්‍ය හමුදාව සටන් කරුවන් ඉන්න ප්‍රදේශවලට යන කොට හම්බ වෙන හැම අහිංසක ගැමියෙක් ම මරනවා. ගම් බිම් ඔක්කොම විනාශ කරනවා. මේ විදිහට ගිහින් බ්‍රිතාන්‍ය හමුදාව අරගලය දියත් වෙන ප්‍රදේශවලට ඇතුල් වෙනවා.
මාතලේ සටනට සහයෝගය දීපු දුල්ලෑවේ මහ නිළමේ බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත් වෙනවා. 1948 අගෝස්තු 29 වෙනිදා බ්‍රිතාන්‍ය හමුදාව කරපු යුද්ධයක දී පුරන් අප්පුයි, ඩිංගිරාළයි ඉංග්‍රීසීන් කොටු වෙනවා. බ්‍රිතාන්‍යයෙන් විරුද්ධව නැගී සිටීම සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙලඹීම මත මේ දෙන්නා වෙඩි තියලා ඝාතනය කරනවා. මේ නිසා ඉස්කෝලයෙ කාලයෙත් අහිංසක ළමයින්ට හිරිහැර කරන ළමයි එක්ක රණ්ඩුසරුවල් එහෙම ඇති කර ගත්තා. ශිෂ්‍ය නිදහස වෙනුවෙන් නැගී හිටියා. මෙහෙම ඉදිලා ගමේ මිනිසුන්ට කරදර හිරිහැර කරන ගමේ ගම්පතියාටත් ගහනවා. ඊට පස්සෙ ගමේ හතුරන් ඇති වෙන්න ගත්තු නිසා, රත්නපුරේට යනවා. එහෙදිත් ඉංග්‍රීසී වතුකාරයොන්ටයි, ඉංග්‍රීසී හමුදාවටයි ගහනවා. අහිංසක ගැමියෙකුට අසාධාරණ විදිහට නඩු තීන්දුවක් දුන්න ඉංග්‍රීසි නඩුකාරයෙක්ටත් ගහලා දේපළවලට හානි කරනවා. ඊට පස්සෙ ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් වෙලා සිර ගත කෙරෙනවා. පස්සෙ හිර ගෙයින් පැනලා, මහ නුවරට යනවා.
ගොංගාලේ ගොඩබණ්ඩවත් අන්තිම මොහොතෙදි ඉංග්‍රීසීන්ට අහු වෙනවා. කස පාර 100ක් දීලා, ගොඩබණ්ඩව මලක්කාවට පිටුවහල් කරනවා.
1848 දෙසැම්බර් මාසයේ පළ වෙනිදා ඒ අභීත වීරයා හෘදයාබාධයකින් මිය යනවා. මේත් එක්ක ම අපේ මිනිස්සු දියත් කරපු දෙවෙනි නිදහස් අරගලයත් නිමා වෙනවා. එදායින් පස්සෙ අවුරුදු 100ක් (1948) යනකන් එක අරගලයක් වත් බ්‍රිතාන්‍යයට විරුද්ධව දියත් වුණේ නෑ. උතුවන්කන්දේ සරදියෙල් (1860) වගේ කිහිප දෙනෙක් ඇරුණම, කවුරුවත් ඉංග්‍රීසීන්ට විරුද්ධව හඩක් නැගුවෙ නෑ. 1848 අරගලය මර්දනය කරපු හැටි දැකලා බය වුනා. 1848 අරගලය පටන් ගෙන, දවස් 5ක් යන්නත් කලින් ඉවර වුනා කියලා තමයි දක්නට ලැබෙන්නේ
1848 අරගලයෙන් පස්සෙ අපේ රට ගොඩක් වෙනස් වෙනවා. මුලදී කිව්වා වගේ මේ අරගලය මර්දනය කරපු විදහ දැන ගත්තු එන්ගලන්තයේ ගොඩක් බ්‍රිතාන්‍ය ජාතිකයෝ කම්පාවට පත් වෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේ ගැන ගොඩක් කතා වුණා. විශේෂයෙන්ම කුඩාපොල හාමුදුරුවන්ව අපවත් කරපු සිද්ධිය නිසා. ටොරිංටන් කියන්නෙ ඉස්සර එන්ගලන්තෙ ගොවිපලක වැඩ කරපු එක් කෙනෙක්. එයා කළේ සත්ව පාලනයයි. සත්තු මැරුවා, සත්තුත් හම ගැහුවා, කිරි දෙව්වා. ටොරිංටන් බ්‍රිතාන්‍යයේ අගමැතිවරයගෙ ඥාතියෙක් වෙනවා. අගමැතිවරයා තමයි ටොරිංටන් අපේ රටේ ආණ්ඩුකාරවරයා කරන්නේ. ටොරිංටන්ව ගොඩක් අයගේ දෝෂ දර්ශනයට ලක් වෙන්න ගත්තා. මේ නිසා වෙන මම මණ්ඩලයක් පත් කරලා, මේ ගැන හොයලා බලලා ටොරිංටන්ව එන්ගලන්තයට පෙන්වලා, හැම තනතුරකින් ම එයා ව ඉවත් කරනවා. ටොරිංටන් ජීවි තේ අන්තිම කාලෙ ගත කරන්නෙ සමාජයෙන් කොන් වුණු හිස් මිනිහෙක් විදිහට. ඒ වගේම ඒ කාලයේ මැතිවරණවලින් බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාත් පරාජයට පත් වෙනවා.
ටොරිංටන්ගෙන් පස්සෙ 1850 නොවැම්බර්වල “ජෝර්ජ් ඇන්ඩ(ර්)සන්” කියලා ජනහිතකාමී අලුත් ආණ්ඩුකාරවරයෙක් පත් වෙනවා. ඊට පස්සෙ ජනතාවගේ අප්‍රසාදයට ලක් වුණු අලුත් බදු වර්ග අයින් කරනවා. අනිත් බදු වර්ග මිනිසුන්ට සහනයක් වෙන විදිහට සංශෝධනය කරනවා. 1848 අරගලයට පිං සිද්ධ වෙන්න 1850න් පස්සෙ හැමෝම අපේ රටේ මිනිස්සු දිහා ඇස් ඇරලා බලන්න ගන්නවා. මිනිසුන්ට හිතකර විදිහට පාලන ප්‍රතිපත්ති අලුතින් හදනවා.
ඔබට යමක් . . . .
“ඡන්දය දෙන කොට වුනත් හොඳ බුද්ධිමත් කෙනෙකුට ඡන්දය දෙන්න ඕන. බුද්ධිමත් නොවන අය බලයට පත් කළා ම එම රටේ සංවර්ධනය අඩල වෙනවා එම රටේ මිනිසුන් දරිද්‍රතාවයට පත් වෙනවා, අගහිඟකම් වැඩි වෙනවා සමහරු ජිවත් වීම, කුස ගින්න වෙනුවෙන් නීත්‍යනුකූල නොවන ජීවන මං පෙත් විවර කර ගන්නවා, නීතිය සාධාරණත්වය වෙනුවෙන් දඬුවම් කරනවා. මතක තියා ගන්න කුස ගින්න වේදනාව කඳුළු හැමෝටම පොදු බව එම අවස්ථාව මුලීක කර ගෙන බොහෝ දෙනා අරගලය කරනවා මෙරට උපන් බලය ඇති ටොරින්ටන් ලා එම අරගලය මෙහෙයවා එමගින් බලයට ඒමට තැත් කරනවා. අප මුතුත්මිත්තන් අපගේ නිදහස තකා දහඩිය ලේ වගුරාවා ජීවන හුස්ම නිම කල මේ නිව හල් දේශය සුර කීම අප සතු වගකීම බව මතක තබා ගන්න.”
බී.එම්.අයි. කමල් ප්රියදර්ශණ. – (ලේකම්- එක්සේසත් ජනතා හිතෛෂී පෙරමුණ වෙනුවෙන්,)
